අපේ දැක්ම

දැනුමෙන් දිනන මැනවින් දැමුන පරපුරක්

Saturday, May 22, 2021

අන්තර්ජාලය භාවිතා කර අධ්‍යයන කරයුතු කිරීමේදී බොහෝදෙනෙක් මුහුණ දෙන දුෂ්කරතා මගහරවා ගන්නේ කොහොමද?

 


    මාර්ගගත ඉගෙනුම් ක්‍රමවේද අපේ රටේ ගොඩක් දෙනෙක් යොමු උනේ කොවිඩ් 19 වසංගත තත්ත්වයත් එක්ක. ඉගෙනුම් කටයුතු සඳහා තාක්ෂණික මෙවලම් භාවිතය අපිට අලුත් වගේ දැනුනාට ඒක අලුත් දෙයක් නෙවෙයි. මේ ඉතිහාසය 1950 දශකය දක්වා අතීතයට ගිය දෙයක්. සමර්පණ ප්‍රක්ෂේපණ (Slide projectors) යන්ත්‍ර හා රූපවාහිනී යන්ත්‍ර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා භාවිතා කරලා තියෙනවා. මාර්ගගත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නැත්තම් අපි අතරේ ජනප්‍රිය හැඳින්වීම වෙලා තියන "ඔන්ලයින්" (Online Teaching ) වල අතීතය 1960 දශකයෙන් අහන්න ලැබෙනවා. මේ කාලේදී අන්තර්ජාලය (Internet) කියලා දෙයක් හොයාගෙන තිබුණේ නැහැ. එතකොට කොහෙන්ද ඔන්ලයින්? එකිනෙකට සම්බන්ධ කරපු පරිගණක ජාලයක් හරහා තොරතුරු සම්ප්‍රේෂණය කිරීම මගින් මාර්ගගත ඉගෙනුමට මුල පුරලා තියනවා. කොහොම උනත් සම්පූර්ණ මාර්ගගත පාඨමාලාවක් පවත්වාගෙන ගියේ මුල් වරට 1984 අවුරුද්දේ. ඒ කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේදී. MS Dos මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක උන පරිගණක සහ Commodore 64 පරිගණක 64 ක් යොදාගෙන විද්‍යුත් විශ්ව විද්‍යාල ජාලයක් ආරම්භ කරා. මෙහෙම පටන් ගත්තු මේ මාර්ගගත ඉගෙනුම, ඉගැන්වීම හා ඇගයීම අද වෙන කොට නැතුවම බැරි දෙයක් වෙලා. අපේ රටේ උනත් උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගය මාර්ගගතව කරන්න පටන් ගත්තේ කෝවිඩ් කියන නම අහන්නත් කලින්. 

    ඇත්තටම අපේ රටේ මේ දේ සාර්ථකව කරන්න පහසුකම් තියනවා ද? ඒ ගැන දැනුම තියනවාද? හැම දේටම නැති බණේ ම කිය කිය ඉන්නේ නැතුව, හැම දෙයක් ම ආණ්ඩුවෙන් කරලා දෙනකම් ඉන්නේ නැතුව තියන පහසුකම් උපරිමයෙන් පාවිච්චි කරන්න උත්සාහ කරොත් ඉදිරියට යන්න පුලුවන්.
මාර්ගගත ඉගෙනුමේ ක්‍රියාත්මක වෙන සිද්ධිය පහත පින්තූරය දිහා බැලුවොත් හිතාගන්න පුලුවන් වෙයි.

 


 මෙතනදී ලියාපදිංචි වීම, සැළසුම, සන්නිවේදනය, තත්ත්ව පාලනය, ක්‍රියාකාරකම් පාලනය හා ඇගයීම සිදු වෙන සංකීර්ණ ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය මාර්ගගතව සුරැකුණ සම්පත් ඒ කියන්නේ විෂය නිර්දේශ, කරුණු, මූලාශ්‍ර, බහු මාධ්‍ය මෙවලම්, ප්‍රශ්න පත්‍ර වගේ දේවල් වලට ප්‍රවේශ වීම මගින් සිදුවන දෙයක්. අදාළ ගුරුවරුන් හා ශිෂ්‍යයින් හා ඔවුන්ගේ විස්තර දත්ත පාදක (Database) මගින් මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගෙන සිද්ධ වෙන සංකීර්ණ ක්‍රියාදාමයක්.  අපි අද බහුතරයක් කරන්නේ Whatsapp Groups මගින් යැවීම හා ගෙන්වාගැනීම සහ Zoom මගින් පාඩමක් ඉදිරිපත් කිරීම. ඒත් මාර්ගගත ඉගෙනුම ඊට වඩා ගොඩක් දුර ගිය එකක්.

මේ කරන දේ උනත් කරන්න ගියාම ප්‍රශ්න ගොඩයි. කොහොමද එවා යම් තරමකට හරි මගහරවා ගන්නේ. අපිට පොදුවේ මතුවන ප්‍රශ්න කිහිපයක් බලමු.

මාර්ගගත ඉගෙනුමේ අභියෝග

 අනුගත වීම සහ අනුගත කරවීම

මෙතනදී භාරකරුවන් මේ සම්බන්ධව ගන්න පුලුවන් ක්‍රියාමාර්ග තියනවා. ඒ එක්කම ගුරුවරුන් සහ විශේෂයෙන් දෙමාපියන් මේ සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය ගැන බර්මිංහැම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය කැතරිනා රෙන්ඩෙයිරෝ සහ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොබර්ට් මුලින්ස් අදහස් ප්‍රකාශ කරලා තියනවා. එව්වා සාරාංශ කරපුහාම පහතින් පෙන්නලා තියන දේ විදියට ගන්න පුලුවන්.
  • පැහැදිලි බලාපොරොත්තු තබා ගන්න.දරුවන් නිවසේ සිටියත් ඔවුන් නිවාඩුවක් ගත නොකරන බවත්, නිවසේ රැඳී ඉන්න නමුත් මේ නිවාඩු කාලයක් නොවන බවත්, දරුවන් සමග ඍජුවම සාකච්ඡා කිරීම මගින් ඒත්තු ගැන්වීම දෙමාපියන්ට කරන්න පුලුවන්. සම්පූර්ණ කල යුතු වැඩ රාශියක් ඇති බැවින් අදාළ වේලාවන් හි නියමිත පරිදි පාඨමාලා සඳහා සහභාගී කරවීම භාරකරුවන් සතු වගකීමක් වෙනවා.
  • පහසුකම් සැළසීම හා ඒ සම්බන්ධව අවධානය. සෑම උදෑසනකම කළ යුතු වැඩ මොනවාද සහ පවුලක් ලෙස එම කාර්යය විසඳීමට සැළසුම් කිරීම කරන්නේ කෙසේද යන්න හඳුනා ගන්න, විශේෂයෙන් ඔබට උපාංග බෙදා ගැනීමට සිදුවුවහොත්.
  • ළමයින් සඳහා වැඩ කරන ඉඩක් ස්ථාපිත කරන්න. මෙම අවකාශය විය යුත්තේ ඔවුන්ට වැඩ නිම කිරීමට වඩාත් පහසුවක් දැනෙන තැන විය යුතුය. සුවපහසුවක් දැනීම ඔවුන්ට වඩා හොඳ කාර්ය සාධනයක් ලබා ගත හැකිය
  • පන්ති කාමරයේ ඉඩ නොදෙන දේට ඉඩ නොදෙන්න. ළමයින්ට පන්ති කාමරයේ ඉගෙන ගන්නා අතරතුර රූපවාහිනී සහ වීඩියෝ ක්‍රීඩා අනවශ්‍ය පණිවිඩ හුවමාරු, ආදිය නොමැත, එබැවින් ඔවුන් නිවසේදී ඉගෙන ගන්නා අතරතුර එම උපාංග ක්‍රියාත්මක නොවිය යුතුය
  • විවේක කාල ලබා දීම. අඛණ්ඩව වැඩ කිරීම වෙනුවට යම් කාලයකට පසු විවේකයක් ලබා දීම මගින් ඉතිරි කොටස් සඳහා අවධානය යොමු කිරීම පහසු බව මනෝ විශේෂඥයෝ පවසනවා. උදාහරණයක් ලෙස පැය දෙකක පාඩමක් නම් පැයකට පසු විනාඩි 15ක විවේකයක් ආදී වශයෙන්.
  • ධනාත්මක ශක්තිමත් කිරීමක් භාවිතා කරන්න. ඔවුන් පැවරුමක් සම්පූර්ණ කරන අතරතුර රූපවාහිනිය ක්‍රියාත්මක නොවිය යුතුය, නමුත් එළිමහන් විවේකයක් හෝ වැඩ කිරීමෙන් පසු සෙල්ලම් කිරීමට වැඩි කාලයක් ගත කළ හැකි යැයි පවසමින් ළමයින් පෙළඹවීම ඔවුන්ට කාර්යයේ රැඳී සිටීමට උපකාරී වේ.
  • උපකාර ලබා ගැනීම
    ගුරුවරයෙකුට, දරුවෙකුට හෝ භාරකරුවෙකුට ගැටළුවක් ඇති නම් එය ප්‍රකාශ කරන්න. සහෝදර ගුරුවරයෙකුගෙන්, පාසල් හා කලාප ප්‍රධානීන්ගෙන් මේ සඳහා උපකාර ලබා ගැනීමට කටයුතු කරන්න. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සම්බන්ධව උපදේශන ගුරුවරයෙකුගෙන් උපකාර ලබා ගැනීම වැනි දේ කළ හැකිය
  • සෙසු දෙමාපියන් හා දරුවන්ගේ උපකාර ලබා ගැනීම.එකම ශ්‍රේණියක නම් එම ශ්‍රේණියේ වෙනත් දෙමාපියන්, අසල් වැසියන් ආදිය සම්බන්ධ කරගත් හැකි නම් සමහර ගැටළු මගහරවාගත හැකිය.

 

තාක්ෂණික ගැටළු 

උපාංග සම්බන්ධව ගැටළු

මේ ගැටළුව විසඳන එක දරුවන්ගේ පවුලේ ආර්ථික තත්ත්වයක් එක්ක ඍජුවම සම්බන්ධ වෙන නිසා නිශ්චිත විසඳුමක් දෙන එක හරියට මරුටි කාර් එකක එන්ජින් බේ එක ඇතුළට හොඳට හැදුණු එළුවෙක් රිංගවනවා වාගේ අමාරු වැඩක්. හැබැයි අපි ටිකක් උත්සාහ කරොත් අපිට තියන උපාංග යම් තරමකට හෝ සූදානම් කරගන්න පුලුවන් වෙයි. ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ සුහුරු ජංගම දුරකථනයක් නේ. ගොඩක් වෙලාවට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තියන එකක් නේ. ඉතා සුළු පිරිසක් අයි ඕ එස් (Ios) හරි වින්ඩෝස්  ෆෝන් (Windows phone) හරි පාවිච්චි කරනවා ඇති. මේ උපකරණ වල මතකය පිරී යාම නිසා හිර වෙන ගතියක් තියෙන්න පුළුවන්.
මේ ගැටළුව අපිට නිරාකරණය කරගන්න පුලුවන් දුරකථන වල පිරී ඇති අනවශ්‍ය සහ කිසිම දවසක පාවිච්චි නොකරන යෙදුම් (App ) ඉවත් කිරීම මගින්. මීට අමතරව අනවශ්‍ය ගොනු(Files) දුරකථනයේ තබා නොගැනීමෙන්. අත්‍යවශ්‍යම ඡායාරූප, වීඩියෝ වගේ දේවල් වෙනත් ස්ථානයක උපස්ථ (Backup) ගොනු ලෙස තබාගත්තොත් එක කරගන්න පුලුවන්. ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් තියන කෙනෙකුට Google Drive එකේ මේවා Save කරන්න පුලුවන්. නොමිළේ 15GB ක් ලැබෙනවා. මේ ඉඩ සෑහෙන කාලෙකට හොඳටම ඇති. ඉතින් මේ ඉඩ ප්‍රයෝජනයට ඇරගෙන අතේ තියන Phone එකේ ඉඩ හදාගන්න පුලුවන්.

අන්තර්ජාල සම්බන්ධතා සහ වේගය සම්බන්ධ ගැටළු

මේකට නම් සේවා සපයන්නා සමග කතා කරලා විසඳුමක් ගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද ඔවුන් කරන්නේ ව්‍යාපාරයක් නිසා. අපිට දරාගන්න පුලුවන් ගණනකට අපි පැකේජ් ගත්තත් එතනදී ඔවුන් ලබා දෙන දත්ත ප්‍රමාණය සහ වේගය ප්‍රමාණවත් නොවෙන්න ඉඩ තියනවා.

මෙතනදී කරන්න පුලුවන් විසඳුම වෙන්නේ අන්තර්ජාලයේ අවහිරතා ගැන ගුරුවරයා සහ දරුවන් දැනුවත් වීම සහ සාකච්ඡා කරලා විසඳුමක් ගන්න එක. පාඩම් සහ සටහන් නැවත කිරීම කරන්න පුලුවන්. නැතිනම් වරක් කරපු පාඩම පටිගත කරලා සම්බන්ධ වෙන්න නොහැකි වූ අයට පහසු වෙලාවක බලාගන්න විදියට අන්තර්ජාලයේ අප්ලෝඩ් කරලා තියන්න පුලුවන්.

Whatsapp මගින් ප්‍රශ්න යැවීම සහ පිළිතුරු ගෙන්වා ගැනීම

පන්තියේ හැම ළමයාගේම උත්තර අපේ phone එකේ පිරිලා. තමන් සම්බන්ධ Whatsapp Group එකේ ළමයි එවන හැම විෂයකම උත්තර ගුරුවරයාගේ Phone එකේ. ඉතා සුළු කාලයකින්ම Phone එකේ Memory full. මොකක්ද මේකට විසඳුම?.

මේකට කරන්න පුළුවන් දේ තමයි Whatsapp එකේ Media Visibility එක off කරන එක. එතකොට දරුවන් එවන උත්තර වලින් තමන් ට අදාළ උත්තර විතරක් Download කරගන්න පුලුවන්.


ඒ වගේ ම Media auto download අපිට නවත්තන්න පුලුවන්

 


 

සටහන් ප්‍රශ්න වල පැහැදිළි ඡායාරූප යැවීම

ගොඩක් වෙලාවට ලියපු උත්තරයක් හරි ප්‍රශ්නයක්, සටහනක් හරි මේසයක් උඩ තියලා ඒකට කැමරාව මානලා හරි අමාරුවෙන් photo එකක් ගහගත්තත් බලනකොට ඒක හරියට යකා පොල් හිටෙව්වා වාගේ තැනින් තැන එක එක විදිය. මේ ගැටලුවට විසඳුම තමයි මේ විදියට Photos ගන්න පුලුවන් App එකක් use කරන එක.

මේ විදියට එකක් හදාගන්න පුලුවන් එක එකක් තමයි Microsoft lens. මෙයාට පුලුවන් අපි කොහොම කැමරාව ඇල්ලුවත් අදාළ Document එක විතරක් Capture කරගන්න. මෙයා මේක Trim කරල Enhance කරලා අපහසුවෙන් තොරව කියවන්න පුලුවන් ගාණට හදලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, අපි හදන Digital document එක image එකක්, pdf එකක්, word/ excel file එකක් විදියට save කරන්නත් පුලුවන්. කෙලින්ම one drive එකට save කරන්නත් පුලුවන්.

හරියට මෙන්න මේ වගේ Photo එකක් ගන්න පුලුවන්



මේ විදියටම වැඩ කරන තව එකක් තමයි Adobe scan . මේ දෙකෙන් එකක් install කරොත් පැහැදිලි Documents යවන්න පුලුවන්.

පහත ලින්ක් වලින් මේ දෙකෙන් එකක් Install කරගෙන බලන්න

https://play.google.com/store/apps/details?id=com.adobe.scan.android

https://play.google.com/store/apps/details?id=com.microsoft.office.officelens

 

සමහර ලින්ක් Web browser එකෙන් open කරගැනීමේ දුෂ්කරතා 

අපි යවන සහ අපිට එවන සමහර ලින්ක් වලට යන්න බැහැ කියන මැසිවිල්ල එනවා නේ. ඒ ගොඩක් වෙලාවට Android device එකක inbuilt browser විදියට එන Google chrome එක sign in කරලා නැති නිසා එන දුෂ්කරතාවයක්. මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් Chrome එක sign in කරලා තියාගන්න වෙනවා. Android devoce එකක් use  කරන හැමෝම ලඟ Gmail එකක් තියනවා. Chrome එක sign in කරන්න වෙන්නේ gmail address මේ එකෙන්

මෙන්න මේ එකෙන් පෙන්නනවා කොහොමද වෙන්නේ කියලා පැහැදිලිව පින්තූර වලින්.

https://howtoway.com/google-chrome-sign-in-on-your-computer-and-mobile/


මේ වගේම Zoom සහ වෙනත් යෙදුම් පාවිච්චි කරනකොට මතුවෙන ගැටළු සම්බන්ධව පස්සේ ලිපියකින් දාන්නම්. මේ ලිපියේ නොතේරෙන තැනක් අඩුපාඩුවක් තියනවා නම් එකකින් දාන්න. එතකොට ඒක නිවැරිදි කරන්නම්

අන්තර්ජාලය භාවිතා කර අධ්‍යයන කරයුතු කිරීමේදී බොහෝදෙනෙක් මුහුණ දෙන දුෂ්කරතා මගහරවා ගන්නේ කොහොමද?

       මාර්ගගත ඉගෙනුම් ක්‍රමවේද අපේ රටේ ගොඩක් දෙනෙක් යොමු උනේ කොවිඩ් 19 වසංගත තත්ත්වයත් එක්ක. ඉගෙනුම් කටයුතු සඳහා තාක්ෂණික මෙවලම් භාවිතය අපි...